Tuesday, September 4, 2012

මේ සසර බිඳ යමු සොඳුර


හදවත ද දහැන ද බිඳී යයි
අනියත බවක තැති ගැම්මෙන්
සොඳුරිය එන්න ප්‍රේමය ම
කමටහන් කරගන්න

ඔබට මට වෙන්වන්ට සිදු වෙන
දිනක් පැමිණෙත නව සළු ගෙන
තුරුලු ව හෝ බෝ දුර
පිළිබඳ සිතිවිල්ලෙන් හෝ එසේ නොව
හිත් අතැර යන්නට සිදුවෙන
දිනක් පැමිණෙත ළං ළං ව හෝ දුර

ඔබ මා අතර දැනීම් අවසන් වන
මා නික්ම යන හෝ ඔබ
කිසිත් නොදන්නා බිළිඳකු ඈ
අමුතු දෙසක යළි උපන්න
ඔබ හෝ මම
අතැර පෙර භව මතක
නව ජන්ම ලද බිළිඳු සිත
ඔබේ හෝ මගේ කඳුළු නොදැක ම
කිරි සිනා නඟන්නේ

සොඳුරිය අපය මේ
අපේ දරු වූ කලී
තවත් අයගේ මතක සිතුවම්
ඔවුන් හැර අහඹු ව
කළලයක බදා නැඟී සිටි
ජීවිතය මේ හැටි ය සොඳුරිය
දුක ද සතුට ද ශූන්‍යය වන
ඔබ ද මා සිතැඟිළි ගිලිහි දින
යළිඳු හමුවක් නොදැන පාවෙන
'සංසාරය' ය

සසර බැඳුමක් ලෙදින් සිතුව ද
වේද නොවේදැයි නොදන්න
මේ භවය තුළ දුන් සෙනෙහස
සොඳුරිය හිස නමා පවසමි
අප වෙන්වන තැන
සිත සුන්බුන් කර
ප්‍රේමය ම කමටහන් කොට
මේ සසරෙන් ඉවත යමු අපි
එක් ව හෝ වෙන් වෙන් ව
අනවරත භව අසංඛෙය්‍ය අතරවර
අපට අප හිමි අහිමිදැයි නොදත්
මේ සසර බිඳ යමු සොඳුර

Picture - Captured by me, 18 wanguwa, Sri Lanka

No comments:

Post a Comment