Sunday, September 30, 2012

කිවිතුම ඔබ ය මා හට පියතුමෙකු සරී

රත්න ශ්‍රී විජේසිංහ කිවිඳුන්ට, 

ඈත බොහෝ පිටිසර බිමෙක අහම්බෙන් මෙන් හමු ව යම් දිනෙක එතෙක් මා නොදැන සිටි මගේ සමීපතමයන්ගේ ඇස් තඩිස්සි වන ලෙසින් පැසසුම් මල්ලකින් ම මා නැහැ වූ ඔබ පළමු වර හමුවිණි එ දෙස. එ දින ඔබ මා වේදිකාවකට නංවා ලබා දුන් ඇගයීම ලිවීම පිළිබඳ ව මා මගේ ජීවිතයේ ලද පළමු සහ එක ම ඇගයීම විය.

ඒ මගේ බාල වියේ දී ය.
ඔහුට විටින් විට මා ලියූ හැම විට ම පිළිතුරු ලිපියක් ඔහු වෙතින් මා වෙත ලැබිණි. එය නගරයෙන් බොහෝ ඈත කුඩා දැරියකගේ හදවත් නටවන්නක් මැ විය.

ඉන් බොහෝ කාලයකට පසු ව මගේ හිතවතියකගේ නිබන්ධනයකට සම්මුඛ සාකච්ඡාවක් ලබා ගනු වස් මම ද ඇය කැටුව ගාලු කොටුවේ ඔහුගේ සොඳුරු නිවසට ගියෙමි. ඔහුට මා කවුදැයි කීමට එ දින මම මහත් සේ ලැජ්ජා වුණිමි. ඔවුන්ගේ කතා බහින් පසුව මා කොහේ කෙනෙක්දැයි ඔහු මගේ හිතවතියගෙන් ඇසුවේ ය.

"බිබිලේ" ඇය කීවා ය.

"එතකොට ඔයා දන්නවද ෂසිකා අමාලි මුණසිංහ" මා තුළ එ වර හටගත් දහසක් සංවේදනාවන් විස්තර කරනු වස් කවර නම් බසක් පොහොසත් වේද?

"ඒ මම"

"අනේ දෝණී, මට සමාවෙන්න ඕනෑ.. මට ඔයා ව අඳුනගන්න බැරි වුණාට.."

බිම්තැන්නේ කලකට පෙර මුණ ගැසුණු
එ සැණත් ළං ව දිරි දෙන වදනක් දොඩපු
කඳු මුදුනට ළං ව උස බලනට කියපු
කිවිතුම ඔබ ය කවිකෙත එළිවැට තනපු

නිහඬ ව සිනාසෙන කරුණා ගුණ ම දැරී
මා වෙත අකුරු කරමින වඩවමින දිරී
'දෝණිය, මේ ඔයාදැ' යි පැවසූ මිහිරී
කිවිතුම ඔබ ය මා හට පියතුමෙකු සරී

2 comments:

  1. හරිම සංවේදී කතාවක්..

    ඔබේ කවි මඟට මගේ සුබ පැතුම්

    ReplyDelete
  2. මා ඔහුගේ කවි පොත් දැන හඳුනාගත්තේත් කියවූයේත් කපුගේ හා දිවුල්ගනේගේ ගීත නිසා .කවි හා ගීත අතර මැනවින් දෝලනය වූ අපූරු රචකයෙක්

    රත්න ශ්‍රී ගේ බොහෝ කවි ගීත අතරින් මා වඩාත් හිත සසල වෙන්නේ ඔහුගේ සුදු නෙලුම කෝ සොර බොර වැවේ ගීතය අහන විට ,එය හැමදාම මා නෙතට කඳුලක් ගේනවා

    අහන්න දෙයක් නෑ අමලි එදා ඔහුගේ ප්‍රශ0සා , එවූ ලිපි ඔබට මහ මෙරක් තරම් වටින්න ඇති තව තව කවි ලියන්න හා කවි කම් ඔප්න0වාගන්නට


    (නිර්ණාමිකව ආවත් ඔබ මා හොඳින් හඳුනනවා )

    ReplyDelete