Monday, October 29, 2012

කුණාටුව


කුණාටුව ගසා එන ගණ නීල හැන්දෑවෙ
කඳු බඳක් බදාගෙන නැගුණු කුර තුර වීමි
මතුර මතුරා කණට දහසකුත් සිලෝ කවි
රවා ගොරවා ඔබ යනෙන මඟ බලා ඉමි

අහස උතුරා හැලෙන කඳුළුවල බර දනිමි
ගුගුර ගුගුරා දුකින නැඟ උනන තැන දනිමි
එහෙත් ඔය දෙතොල ළඟ කිසිත් නොකියා ඉඳිමි
නැව් බඳක් දෑස් අග ගිලෙන යුරු බලා ඉමි

මිතුරියේ ජීවිතය උපත සිට විඳි ගැහැට
කුණාටුව ලෙසින් නැඟ මතු ව එන බව දනිමි
දෑත් විදහා නුඹට පණ පොවන සුළඟ වෙමි
කඳු බඳින් ගිලිහ 'විත් නුඹේ තුරුලේ මියෙමි


Pic. - Public Domain
Author - The French painter Claude-Joseph Vernet

No comments:

Post a Comment