Tuesday, November 6, 2012

උදෑසන

පෙර දින වෙහෙස
නිවෙන්ටත් කලියෙන්
කවුළුව ළඟට විත්
තට්ටු කරයි උදෑසන

ජීවිතේ මුට්ට බර තල්ලු කර ගෙන යන්ට
රථ හොරණෑ හඬට පපුව දී වෙව්ලන්ට
දූවිලී තට්ටු වැද මූණ කණ සුදු වෙන්ට
දිනයකින් දිනයකට හීනය ම කල් යන්ට

රළු බොරළු බිම හැපී දෙපා හීරී යන්ට
අව්වෙන් ම පාට වී කළු ගලක් වී ඉන්ට
දුඹුරු පෑ හරිත පෑ එකට කවලම් වෙන්ට
නෙළන්නට බැරි ම නම් මලත් උගුලාලන්ට

ජීවිතේ සතුටකට කියා ඇත්නම් දෙයක්
මඟ දකින උඹෙ මූණ තරං නෑ වෙන දෙයක්
ජීවිතේ හුස්ම ගන්නට ලැබෙන වාරුවක්
පතා නැඟිටිමි අදත් ජීවිතෙත් රමණයක්




No comments:

Post a Comment