Thursday, February 21, 2013

ස්වර්ගය නොවෙද මෙය!!

බසයේ කවුළුව අද්දර
හිඳ යන විට මට සිතේ
කොහේද මා යන්නේ
එකිනෙකට නොගැලපෙන මෝස්තර
එල්ලී අත වනන වීදුරු සාප්පු අතර
කඩිමුඩි ව ඇවිද යන
නොසන්සුන් මහත් දන
දුහුවිල්ල විහිද යයි
නිරතුරු ව මං දෙපස

දුරට ගියහොත් නොබැස
දකින්නට හැකි වෙයි
ගඟ දියට වට හිරු එළිය
රන් කෙඳි විලස බැබළෙන
එහෙත් පෑදි දිය අරන්
ගඟ නොනැවති ම ගලන වග

ඉනික්බිති හමු වෙයි
තුරු ගොමු අසිරි මඳහස
ඇවිද යන හිනාවෙන
තේ ළඳළු හරිතමය
නිල් අහස කඳු උරෙන්
ඉස්සී බලයි ම'දෙස
එවිට මට සිතෙයි මිත
ස්වර්ගය නොවෙද මෙය!!


pic. -bokage's photostream
A moment in time. A girl looking out of a bus window in a highland village on the border between Kerala and Tamil Nadu.



1 comment:

  1. ගැටෙන දේ නෙතට
    හා සමව ඉතිරි පහටම
    ලෝභ ,ද්වේශ හෝ උපේක්ෂා
    නොනවතා උපදවයි.
    රාගයෙන් නොඇලී
    ද්වේශයෙන් නොපෙලී
    උපේක්ෂාවෙන් ම ඉවසා
    යන තැනක පරිස්සමින්

    ReplyDelete