Monday, July 1, 2013

රාධාවනි එන්න



මල් මුහුලස බැඳි රාධා
තල් අරණට එන්න
හිත බැඳි මිහිරි ම රහසක්
ඔබේ කණට දෙන්න
තිරුක්කුරල් පොත* අරගෙන
මුව මල් මී බොන්න
කසුරිනාව ළඟට ගිහින්
සයුර බලන් ඉන්න
අත් නොහැර ම එන්න
ඇති එක ම ධනය දෙන්න
එපා නොකිය මගෙ හදවත
ඔන්න අරන් යන්න

රාධාවනි එන්න
අහසට තරු පළදන්න
බිඳුණු හිතක් ගන්නට බැරි
බව නම් නොකියන්න
වල් වැදුණේ මගෙ හිත
ඔබ ආපහු අරගන්න
මුව නිල දිය පොකුණු වසන්
කොපුල් වෙරළ දෙන්න

ළය අරණත පරවි පියා
සලන්න ඉඩ මෙන්න
රතු වුණු මුව කෝල සිනා
බිමට අතාරින්න
කතරක් කෙම් බිම වුණ හැටි
නුඹට බලා ගන්න
මම නටනව හංස නැටුම
මට ඔය අත දෙන්න

* තුරුක්කුරල් පොත - දමිල සාහිත්‍ය තුළ විශිෂ්ට කෘතියක් ලෙස සැලකේ. තුරුවල්ලුවර් පඬිවරයා මිනිස් සිතුම් පැතුම් හා ජීවත්වීම පිළිබඳ ව සුගම හා ගැඹුරු අදහස්වලින් යුතු ව මෙය විරචනා කොට ඇත.
pic. - David Agenjo

No comments:

Post a Comment