Wednesday, July 24, 2013

රෝස විලෙන් වතුර බොමුද? අයිස්ක්‍රීම් වගේ කමුද?




කමත් එක කාලෙක අහසින් ගිය මහ විශාල ස්ට්‍රෝබරි අයිස්ක්‍රීම් කන්ටේනරයක් එක පාරට ම කැලේකට ඇදගෙන වැටිල කියල හිතුණද? බටහිර ඕස්ට්‍රේලියාවේ රිෂෂ් (Recherche) ආචිපිලාගෝහි විශාලතම දූපත වන මධ්‍ය දූපත කෙළවරේ පිහිටා තියෙන හිලියර් විල දැක්ක කෙනෙකුට එහෙම හිතුණත් පුදුමයක්ද?

මීටර් හයසියයක් දිගැති මෙම විල වටා වැලි තීරයකින් හා එය දකුණු මුහුදින් වෙන් කරන ගණ පේපර්බැක්, ඉයුක්ලිප්ටස් ගසින් ගහණ වැලි තීරයකින් යුතු වෙනවා. විල දියේ රෝස පාට නිත්‍ය එකක් සහ කන්ටේනරයක් තුළට දිය ගෙන බැලූ විට පවා නොවෙනස් ව පවතින්නක්.   

හිලියර් විලේ පාට කොහොමද රෝස පාට වුණේ කියන එක ඇත්තට ම තව ම හොයාගෙන නැති අභිරහසක්. Dunaliella salina සහ Halobacteria කියන විලෙහි ඇති ඓන්ද්‍රිකයන්ගේ බලපෑමෙන් මේ විදිහට විල පාට වෙන්න ඇති බවත් එහෙම නැත්තං ලවණ වැස්මෙහි පැවැත්ම මෙයට හේතුව බවත් විවිධ උපකල්පන මතු ව තිබුණත් මේ අපූරු පැහැය ගැන මෙතුවක් කිසිදු ව්‍යඛ්‍යානයක් ගොඩ නඟන්නට කිසිවෙක් සමත් වී නැහැ. ගොඩ නැඟූ අනුමාන කිසිවක් තහවුරුවීත් නැහැ. එහෙත් අතිවිචිත්‍ර හිලියර් විල් යුවතිය නම් තම පැහැය ගැන වද වෙන්නන්ට හිනැහෙමින්  සිය රෝස කොපුල් තව තවත් රෝස කර ගනු ඇති.

මේ කොතරම් සුන්දර දසුනක්ද කීවොත්, විල ඉහළ අහසේ ගුවන්යානාහි ගමන් ගන්නා මගියන් සිය අසුනින් නැඟී හිලියර් විල දෙස බැල්මක් හෙලන්න අමතක කරන්නෙ නෑලු.
/
බ්‍රිතාන්‍ය යාත්‍රිකයෙක්, ජල මිනුම්කරුවෙක් සහ සිතියම් අඳින්නෙක් වුණු කැප්ටන් මැතිව් ෆ්ලින්ඩර්ගේ ජර්නල් සටහන්වලත් මේ අපූරු විල ගැන සටහන් ව තියෙනවා. වර්ෂ 1802 දී අවට ජල ගවේෂණයට මධ්‍ය දූපතේ උසම තැනට නැග්ග ෆ්ලින්ඩර්ගේ ඇසට සුන්දර හිලියර් විල අසු ව තිබෙනවා.
/
හිලියර් විල එම පෙදෙසෙහි ලවණ නිස්සාරණ මෙහෙයුම පැවැත් වූ වසර කිහිපය හැර දිගු කලක් තිස්සේ මිනිස් අතක ස්පර්ශය නොලද්දක්. එපමණක් නොවෙයි එය චිත්තාකර්ෂණීය සෞන්දර්යයෙන් යුතු මෙන් ම ස්වභාවික රහස් ගවේෂණය කරන විද්‍යාඥයින්හටත් බේරුම් කර ගත නොහැකි වුණු රහසක්.

       කැප්ටන් මැතිව් ෆ්ලින්ඩර්


ෂසිකා අමාලි මුණසිංහ, Photo: Vusan Alekeberov

No comments:

Post a Comment