Thursday, September 19, 2013

කඳුකර මං - 2




"මට බෑ නාන්න." ඔය ඉවුරු හා අවට වන පෙත වසා පැතිර තිබූ නිසලතාව බිඳිමින් දියෙහි සිට ඉවුරට පිය නඟන සිරිමා යළිත් ගුමු ගුමු නදින් ගලා බසින ඔය දියෙහි හඬ පරයන ලෙස කෑ ගෑවා ය. මෙ වර එයට අත්වැල් ඇල්ලුවේ
ජෝති ය.

"අපොයි! හරි ගිම්හාන සුළඟ"

එසේ කෑ ගෑම විනෝදජනක නොවේද? ඉඳින්, මමත් එයට එක් වීමි. "මට බෑ නාන්න - අපොයි! හරි ගිම්හාන සුළඟ" "මට බෑ කන්න - අපොයි! හරි ගිම්හාන සුළඟ" "මට බෑ යන්න - අපොයි! හරි ගිම්හාන සුළඟ" 'අපොයි!' යන වචනයට ගාම්භීරබවක් එක් කොට හඬ නඟමින් අපි සිනාසුණෙමු.

සිරිමාට ගෙදර යෑමට ඉඩ හැර
ජෝතිත් මාත් පහළ බැස්සේ සිරිමාගේ වචන හඬ ගා කියමිනි. අප දෙදෙනාගේ තියුණු කටහඬ වනපෙත නමැති මහා අවකාශයේ ගිලී සැඟ ව ගියේ ය.

සිරිමාගේ ගෙය වට කොට විහිද ඇත්තේ හරිතමය වන පෙත යි. ගහ කොළ අහස අතරින් පෙනුණේ අතරින් පතර තීන්ත විසිර ගිය චිත්‍රයක් වාගේ ය. අප ගෙදර එනු පිණිස වන පෙත මැදින් දිවෙන කුඩා අඩි පාර දිගේ පහළට බැස්සෙමු.

අඩි පාර අවසන් වෙන තැන ඈතට විහිද යන වෙල් යායේ ඇරඹුම යි. අඩිපාරට යා වුණු කුඹුර අයිති වූයේ අපේ සීයාට ය. එහි නම 'එරමිණි අරාව' වුවත් කවුරුත් පාහේ එයට කීවේ 'එරමින්නරාව' කියා යි. දොරගල කඳුවැටිය හිටගන්නට පටන් ගත්තේ එරමින්නරාව පහළිනි. ඉනික්බිති සියක් වෙල් යායන් වෙල්ලස්සට උරුම කර දෙමින් දොරගල ගම්මානය ඈතට විහිද යයි.

තුරු සෙවණ නිමාවෙනවාත් සමඟ එරමින්නරාවේ පස සකසමින් සිටින සීයා දුර තියා ම අප නෙත ගැටුණි. ඔයෙහි සිදු වූ පරක්කුව සිහි ව උරහිස් ඇකිලුණේ එ විට ය. අප එන බව දුටු සීයා උදුලු කෙටිය පසෙක තබා බලා සිටිනු පෙනේ. වෙලට අඳින කොටු කොටු ................සරම ඇඳ කොණ්ඩය කුඩා ගුලියක් වෙන්නට පිටුපසට බැඳ සිටින සීයාගේ පුළුල් නළල් තලය අවරට හැරෙන්නට හිතමින් සිටින හිරුගේ රැස් කදම්භ වැදී දිස්නය දෙන හැටි මඳක් ළං වූ විට පෙනේ.

දොරගල වෙල්යායේ වෙල් විදානේ වූයේ සීයා ය. තමන්ගේ කුඹුරු විතරක් නොවේ, අනුන්ගේ කුඹුරුත් තමන්ගේ මෙන් බලා කියා දීම සීයා කළේ කැමැත්තෙනි. තවත් කෙනෙකු කරන තුරු බලා නොඉඳ කැඩී බිඳී ගිය නියරවලට අලුත් මඩ ගසා තැනුවේද මං අවහිර කළ ඉදිරී වැටුණු ගසක් අතු කපා හැකි අයුරින් අහකට කොට මඟ එළි කළේ ද නොමැකෙන මඳහසක් මුව තබාගෙන ය.

ජෝති මා පසු කරමින් හෙල්මළු ආකාරයට පිහිටා ඇති වෙල නියරින් නියරට පනිමින් පහළට බැස යයි. මම සීයා අසල නැවතුණෙමි.

"විගහට ගෙදර ගොහින් තියෙන දෙයක් කාහල්ලා.. පරක්කුත් වුණු එකේ බඩගිනිත් ඇති නෙව දැන්" සීයා හිනැහෙමින් කීවේ ය. සීයා මට තරවටු කළේ එහෙමත් දවසක ය. වෙල් ලියැද්දට බැසගත් මම කකුලෙන් පසෙහි ඉරි ඉඳින්නට වුණෙමි.

"ඔන්න ඔය පැලේ ඇති උදේ තේ එක්ක ගෙනා පැණි රොටියකුත්." මම පැල වෙත ගාටන්ට වුණෙමි. කැලෙන් කපා ගත් ලී කණු හතරක් පසෙහි හිටුවා අසල ............... ගසට ද යා වන සේ තනා ඇති පැල හෙවිලි කර ඇත්තේ ඉලුක් කොළ වලිනි.

පැලෙහි ඉහළට වන්නට රාත්‍රී කාලයේ පැල් රකින්නට එන විට ගෙනෙන අඩුම කුඩුම තබන්නට ලී කෝටු එකට බැඳ තනා ඇති මැස්සකි. වාඩිවෙන්නට තනා ඇති තවත් මැස්සකි. පැල හතර දෙසින් ම පරිසරයට විවෘත ව ඇත.

තේ ගෙනා පෝච්චිය අසල වූ ...................හි තිබී ඉතිරි වූ පැණි රොටිය හමු විය. මම ගම්මානය දෙසට හැරී හරි බරි ගැහී මැස්ස මත හිඳ ගතිමි.

එරමින්නරාව කුඹුර පාමුලින් මනාලියන්ගේ සුදු සේල මවමින් හැල්මේ දිව යන ඇළ පාරකි. එය ගල ඔය පසෙක ගල් බැම්මක් බැඳ කුඩා අමුණක් සාදා වෙල් යායේ කොටසකට දිය සපයනු පිණිස හරවන ලද්දකි. හෙනවැල් ගාලවල් අතරින් ඉස්සි ඉස්සී ගලින් ගලට පනිමින් දිව යන ඇළ පාර අතරමඟ හෙල් මතින් බිමට පනී. ගල් තරප්පු බැස බැස සිහිනිඟ සුදු සේල නළවමින් ආ ඇය මිහි පුරුෂ තෙම විසින් වැළඳ ගනු ලබන්නේ මහත් ස්නේහයෙන් යුතු විචිත්රග භාවයක් මවමිනි.

............ ලීයෙන් තනන ලද පීලි ඒ ඒ තැන්වලට තබා ගලින් හයි කර දිය පීලි තැනේ. වෙල් යායෙහි පස් පෙරළමින්, පෝරු ගාමින්, වී ඉසිමින්, අස්වනු නෙළමින් සිටින කොයි කවුරුත් ඉර රත් පෑ ව දොරගල කඳු ඉසින් අනෙක් පසට පිම්මක් පනින්නට ලකලෑස්ති වෙන මොහොතේ ඇඟ පත දොවා ස්නානය කරනු වස් මේ දිය පීලි වෙත ඇදෙත්.

ගෙදරට යන අඩි පාර වැටී ඇත්තේ ඇළ පාර දිගේ දිව යන වෙල් නියර මතිනි. එය එක් තැනෙකින් දියපීල්ල දෙසටත් අපේ ගෙදර දෙසටත් හැරේ.
ජෝතිගේ ගෙදර ඇත්තේ අපේ ගෙට පහළිනි. පැල මැස්ස මත හිඳ ගෙන සිටින මට අපේ ගෙයි වහලයත් මඩුවත් හොඳින් පෙනේ. කුස්සියෙන් විහිද යන හීන් දුමක් අහසට නැඟෙනු පෙනේ. වෙල මත එහෙට මෙහෙට දුව යන කඩියා ද යන්තමට ඇසට අසු වේ.

Picture - Nicolae Grigorescu, Romanian, 1838 - 1907

6 comments:

  1. කඳු......කොටස් වශයෙන් කවි ලියන්න බැරිද?

    ReplyDelete
  2. කඳු......රසවිඳිමි.ඔබ බ්ලොග් ලෝකයේ අති දක්ෂයෙක් බව මම දණිමි.මගේ කුකවිය කියවන්න.
    ...............................................

    නුඹ
    කවි කාරී
    ඔව්..කථා කාරී
    මට මදි වගේ දුවේ...

    වෙයන් උඹ
    නිවේදිකාවක්...
    රඟන්නියක්..
    ආ..නිලියක්
    ඒක
    පොඩිමදි වගේ...

    කියාපන්
    සිංදුවක්...
    කවුරු නෑසුවා උනත්
    නටාපන් ඒ එක්ක..
    රස නහර
    ඕජ යන්න...

    ඒක
    මදි නම්
    කෙල්ලේ.....
    නිදා ගං
    රජු සමග...
    නතර උනු
    වාහනෙට
    පැට්ටරොල්
    පොව්වන්න....







    ReplyDelete
    Replies
    1. රජු සමඟ නිදන අය
      වෙත්ද ඔබ පුරවරේ?
      මළත් හිස නොනමත්
      ඇත්තො මගෙ සනුහරේ.

      Delete
    2. කතා රසය මදි තමයි... අර තිලක සිතේ කතා වගේ හිනාවෙන්න, අඬන්න ලියන්න මට තේරෙන් නෑ.. ඒත් විස්තරයක් විදිහට හරි මේ කතාව ලියන්න ම ඕනෑ... මට මතක නැතිවෙන්න කලින්.. දැනටමත් මට සමහර දේවල්වල නම්, ගම් මතක නෑ... ඒකයි තැනින් තැන හිස්තැන්... පස්සේ කාලෙක මට ම කියවගන්න හරි මේ විස්තරේ ලියන්න ම ඕනෑ...

      මට තිබුණේ ළමයෙකුට තියෙන්නට පුළුවන් හරි ම සුන්දර ළමා කාලයක්.. ගහ කොළ ඇළ දොළ එක්ක ම ඇලුණු.. හොඳ මුතුන් මිත්තන් හිටපු... ඒක මට ලියන්න ම ඕනෑ... ඉතින්...

      එහෙම කිව්වත්, මට කතා ලියන්න වෙලා නෑ.. ශීඝ්‍රගාමී දුම් රිය මඟ හැරුණු දවස් දෙකක මන්දගාමියේදී ලිව්ව කොටස් දෙකක් මේ..
      හරි ම නැත්තං, තව ටිකක් ලියල ම නවත්තන්නම්... එහෙම දවසක... යාන්ත්‍රික ලෝකයක ඉඳගෙන ඒ සුන්දර ලෝකය ගැන හිතන එකත් සාංකාවත් එක්ක සැලෙන සුන්දරකමක්..

      ස්තූතියි අවංක අදහසට..

      Delete
    3. මටත් ඉතාමත් අඩු විවේකයක් තිබුනත් ඔබේ, අරුගේ හා තවත් කිහිප දෙනෙකුගේ හිත නිවන බ්ලොගයන් වල අලුත් මොකුත් තියෙනවා නම් කෑම පැයේ හරි කියවනවා. එත් කොමෙන්ටුවක් දමන්නට වෙන්නේ එහෙමත් වෙලාවක. මෙතන තිලක සිත ගැන සඳහන් වූ නිසා පොඩ්ඩක් ලියන්න හිතුනා.
      ඔබේ කතාව රස විඳින්නට මට නම් ලොකුම බාදාව වුනේ ඔබට අමතක වී ඇති ගස් වල හා ගෙඩි වල නම් තමයි. කැකුණ ගෙඩි, ලාවුලු ගෙඩි, සපු ගස්, ටුණා ගස් වල නම් නිසි තැන යෙදුනා නම් මට නම් මෙය ගද්‍ය කාව්‍යයක් වගේයි. ලස්සන පරිසර වර්ණනාවක්.

      Delete
    4. බොහොම ස්තූතියි.. :)

      Delete