Thursday, September 12, 2013

බස් බෝම්බයෙන් ජීවිත 60ක් බේරාගත් රියැදුරු අද අසරණයි.

07-1උපුටාගැනීම - ලක්බිම, 2013.09.12

දශක තුනක් පුරාවට පැවැති ත්‍රස්තවාදය ජනාධිපති මහින්
ද රාජපක්ෂ, ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ගේ නායකත්වය යටතේ අවසන් කිරීමට දින කිහිපයකට ප්‍රථම එනම් 2008 සැප්තැම්බර් 16දා කුරුඳුවත්ත හෝර්ටන් වටරවුම ආසන්නයේදී ලංගම බස් රථයක බෝම්බයක් පුපුරා ගියේ කොළඹ නගරය ද දෙවනත් කරමිනි.
07-3එම සිද්ධියට මේ වන විට වසර පහක් ගත වී තිබේ.
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මට්ටක්කුලිය ද ඩි‍පෝවේ බස් රථ රියැදුරු එම්.ඒ.රංජිත් තිලකසිරි සහ මංජුල උදයන්ත දෙදෙනාගේ විමසිලිමත්භාවය නිසා එදා වෙන්නට ගිය මහා විපතකින් මගී ජීවිත හැටක් බේරා ගත්හ.
 මෙම වීර ක්‍රියාවට එදා රියැදුරු හා කොන්දොස්තර මහත්වරුන් සහ ‍පොලිස් නිලධාරීන් දෙදෙනකු රාජ්‍ය හා පුද්ගලික ආයතනවල ගරුබුහුමනට ලක්විය.
බස් රථ බෝම්බයෙන් සුළු තුවාල ලැබූ රියැදුරු රංජිත් තිලකසිරි මහතා අද ඔත්පල වී ජීවිතයත් මරණයත් අතර සටනක නියැළී සිටී.
රංජිත් තිලකසිරි 2008 සැප්තැම්බර් 16දා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මට්ටක්කුලිය ඩි‍පෝවේ සේවයට වාර්තා කළේ සුපුරුදු පරිදිය. එදින ඔහු බස් රථයට ගොඩවී රියැදුරු අසුනේ හිඳ ගනිමින් බස් රථය පණ ගන්වා පරීක්ෂාවට ලක් කළේය. කොන්දොස්තර වූ මංජුල උදයන්ත සමග බස් රථය මට්ටක්කුලිය ඩි‍පෝවෙන් ගමන් ආරම්භ කළේ පස්වරු 12.30ට පමණය. ඒ මොරටුව බලා ගමන් කිරීමටය.
 මට්ටක්කුලියෙන් ගමන් ආරම්භ කළ බස්රථයට ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකින් මගීන් ගොඩවෙන ලදී.
මේ වන විට කොළඹ නගරය තුළ දැඩි කාර්ය බහුලත්වයක් ඇති වූයේ රථ වාහන තදබදයක්ද සමගිනි. කොළඹ නගරයේ ප්‍රාථමික පාසල් ඇරී තිබිම හේතුවෙන් පාසල් වෑන් රථ විශාල සංඛ්‍යාවක් ප්‍රධාන මාර්ගයෙන් අතුරු මාර්ගවලත් ගාල් කර තිබුණි. පාසල් ඇරී තිබූ පාසල් සිසු සිසුවියන් විශාල සංඛ්‍යාවක් විවිධ ස්ථානවලින් බස් රථයට ගොඩවූහ. බස් රථයේ අසුන් මගීන්ගෙන් පිරී තිබුණු අතර මගීන් කිහිපදෙනක් හිටගෙන ගමන් කළහ.
කොළඹ නගර ශාලාව ආසන්නයේදී මගීන් කිහිපදෙනකු බස් රථයෙන් බැස ගොස් තිබුණි. පා පුවරුවේ සිටි කොන්දොස්තර වූ මංජුල උදයන්තගේ දෙනෙතට එක්වරම පිටුපස අසුනේ යට තිබූ පාර්සලයක් විය. මංජුල උදයන්ත කලබල නොවී අසල අසුන්වල සිටි මගීන්ගෙන් පාර්සලය ගැන විමසන්නට විය. මංජුල උදයන්ත පාර්සලය ගැන රියැදුරු වූ රංජිත් තිලකසිරි මහතාටද දන්වා සිටියේය.
බස් රථය ගමන් කළ මාර්ගයේත් අතුරු මාර්ගවලත් දැඩි රථ වාහන තදබදයක් ඇති විය. රංජිත් තිලකසිරි තැති ගැනීමකින් තොරව බස් රථය ඉදිරියට පණ ගන්වා රථ වාහන තදබදයක් නොතිබූ ස්ථානයක නතර කර සියලුම මගීන් ඉක්මනින් බසයෙන් බස්සවන ලදී.
 ඉන්පසු බස් රථය යළිත් ඉදිරියට ධාවනය කර කුරුඳුවත්ත හෝර්ටන් වටරවුමට නුදුරින් පිහිටි පාලු ස්ථානයකට රැගෙන ගියේය. එම ස්ථානයේදී බස් රථය නවත්වා මංජුල උදයන්ත ‍පොලිස් නිලධාරියකු වෙත යවා රංජිත් තිලකසිරි බස් රථයට ආරක්ෂාව සැපයීය.
මංජුල උදයන්ත ප්‍රධාන මාර්ගයේ රථ වාහන හසුරවමින් සිටි කුරුඳුවත්ත ‍පොලීසියේ නිලධාරීන් දෙදෙනකුට සිද්ධිය දැනුම් දුන්නේය. ‍පොලිස් නිලධාරීන් පැමිණෙන තුරු රංජිත් තිලකසිරි මහතා බස් රථය ආසන්නයට ළංවීමට කිසිවකුට ඉඩ ලබා දුන්නේ නැත.
 කුරුඳුවත්ත ‍පොලීසියේ රථ වාහන අංශයේ සේවය කළ ආනන්දලාල්, රුවන් කුමාර යන නිලධාරීන් දෙදෙනා එම ස්ථානයට පැමිණ බස් රථයේ වූ පාර්සලය ගැන අදාළ අංශ දැනුවත් කළේය.
එක්වරම බස් රථය තුළ තිබූ බෝම්බය පුපුරා ගියේ කොළඹ නගරය දෙවනත් කරමිනි. බෝම්බය පුපුරා යාමෙන් ඇති වූ කම්පනය හේතුවෙන් රංජිත් තිලකසිරිට දින කිහිපයක් රෝහල් ගතව සිටින්නට සිදුවිය.
 ජීවිත හැටක් බේරාගත් රංජිත් තිලකසිරි, මංජුල උදයන්තට වගේම කුරුඳුවත්ත ‍පොලීසියේ රථ වාහන අංශයේ ආනන්දලාල්, රුවන් කුමාර, රාජ්‍ය හා පුද්ගලික අංශවල උපහාරයෙන් පිදුම් ලැබූහ.
 2008 දෙසැම්බර් 30දා ලංගම මට්ටක්කුලිය ඩි‍පෝව මගින් රංජිත් තිලකසිරි සහ මංජුල උදයන්ත කළ සේවයට උපහාර දැක්වූයේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ විශාල පිරිසක් ඉදිරිපිටදීය. 07-2 එදා මගී ජීවිත හැටක් බේරාගත් බස් රථ බෝමබය පුපුරා යාමෙන් ඇති වූ කම්පනයට රංජිත් තිලකසිරි මහතාට ඇති වූ ස්නායු ආබාධයක් හේතුවෙන් අද ඔහු ඔත්පල වී සිටියි. ඔහුට කතා කිරීමටවත් නැගිටීමටවත් නොහැකිය.
ප්‍රතිකාර සඳහා විශාල මුදලක්ද වැය වේ. ප්‍රතිකාර සඳහා අවශ්‍ය මුදල් ඥාතීන්ගෙන් හා හිතවතුන්ගෙන් ලැබෙන බව ඔහුගේ බිරිඳ වන ඒ සුනීතා මහත්මිය ඇඩූූ කඳුළින් පැවැසුවාය.
 ඔවුන් දෙපළට දාව දරුවන් තිදෙනෙකි. ඉන් වැඩිමල් පුතු රන්දික ලහිරු අධ්‍යාපනය අවසන් කර රැකියාවක් බලා‍පොරොත්තුවෙන් සිටියි.
තිවංකා සහ ඉෂිනි දියණියන් දෙදෙනා තවමත් පාසල් අධ්‍යාපනය ලබති. මොවුන් සියලුම දෙනාටම ජීවත් වීමට ස්ථීර ආදායම් මාර්ගයක් හෝ දේපළක් නොමැත.
ජීවිත හැටක් අවාසනාවන්ත බිහිසුණු මරණයකින් බේරාගත් රංජිත් තිලකසිරි අද ජීවත්වීමට මගක් නොමැතිව අසරණව සිටී. ඔහුගේ බිරිඳ කුලී වැඩක් කර ලබා ගන්නා සොච්චම් මුදලින් සැමියාත්, දරුවන්ගේත් අවශ්‍යතා සපුරා ගන්නේ අල්ප වශයෙනි.
 ත්‍රස්තවාදය නිමා කරමින් රට වේගවත් සංවර්ධනයක් කරා ගමන් කරන මොහොතේදීවත් නිමේෂයක් ආපසු හැරී බලා රංජිත් තිලකසිරිට ජීවත් වීමට යම් පිටිවහලක් සපයන්නට කවුරුන් හෝ ඉදිරිපත් වන්නේ නම් එය දරුවන් තිදෙනාගේ ඉදිරි ගමනට ශක්තියක් මෙන්ම මේ වීරයා වෙනුවෙන් කෙරෙන මහා පුණ්‍ය කර්මයකි.

අජිත් පුෂ්පකුමාර 

Source -http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=17624:---60----&catid=48:2012-04-02-08-50-52&Itemid=75

No comments:

Post a Comment