Wednesday, September 18, 2013

කඳුකර මං

කටගැස්ම - 
"කිසි ම තේරුමක් නැති දේ
ලියනවාට වඩා හොඳය
පොරෝනාව පොරවාගෙන
ගොරෝ ගොරෝ නිදාගැන්ම" 
මැයට කියන්නට ඇත්තේත් ඒ දේය. බැරි දේ නොකර නිකන් ඉන්ට කියා ය.

C. Michael Dudash, Title Unknown 



කඳුකර මං

ෂසිකා අමාලි මුණසිංහ

ශ්වේත වලාවන් අතරින් මිදී දිදුලන කහ පැහැති ඉරෙළිය තුරුපත්'තරින් රූටා ඔය අසල හා 'වට ගල්තලා මත වැතිර යයි. අපි සෞම්‍ය වර්ණයන්ගෙන් යුතු කුඩා ගල් කැට අහුරමින් ඔය ඉවුරෙහි රැඳී සිටියෙමු. නැවතෙන්නට ලොබින් මෙන් රෑහි වාදනය ගලා යන සිලිලාර නදට එක් ව මතු ව එයි. ඉඳහිට ගිම්සමයේ දාහය දරා ගනු නොහී මෙන් 'ක්වැක් ක්වැක්' හඬ නගමින් සකලයෙක් දෙදෙනෙක් අහසට නගිති.

පැසුණු කහ පැහැති නුග පල ගසින් ගිලිහ තැනින් තැන ඔය දියෙහි ගලා යයි. සිරිමා ගලා යන දියට පනිමින් අත මානයේ දිය හා පිනුම් ගසමින් පහළ බසින පල එකින් එක සිය ගවුම් මල්ලට ඔබා ගනී. ජෝති ගල්තලාව මතට වී වැස්සකට තෙතබරිත වූ කිතුල් මලක් මෙන් සිය පිට දිගේ විහිද දිය සලන දිගු කෙස් කලඹ අවු රැස් වෙත විදහයි.

කුඩා ලංකාර ගල් කැට අහුලමින් මම ඔය ඉවුරේ ඒ මේ අත දිව ගියෙමි. මගේ ඇඳුමේ දෙපැත්තේ තාරාවන් අල්ලා මසා ඇති සාක්කු ගලින් පිරී ඉතිරී යන්නට මඟ බලයි. මේ කුඩා ගල්වල මොනතරම් දැකුම්කලු ඇත් දළ පැහැ මුසු රෝස පැහැයක්ද ඇත්තේ... මේ බුහුටි ගල් කැට පාට කළේ කවුරුන්ද?

ඇතැම් දිනවලදී, පාසැල් ඇරී ගෙදර ආ පයින් ආච්චිඅම්මාට හෝ අම්මාට කියා මියැසිගේ ගේ අසලින් පහළ බසින ගල් ඔය වෙත නෑමට පැමිණීම කලක සිට ජෝතිගේත් මාගේත් පුරුද්දක් වී ඇත.

පහළ තැනි මතින් අලස ගමනින් ඇදෙන දිය ගඟුල්වලට වඩා කඩිසර ව හැල්මේ දිව යන දිය ගඟුල් ද පෑදි දිය පුරවාගෙන අප එනතෙක් නිසොල්මන් ව බලා සිටින නාන තටාක ද ඇත්තේ ඉහළ ඔයෙහි ය. දුඹුරු පාටට හුරු තැඹිලි පාටකින් ගස මතට වී මන්දාස්මිති නඟන තිඹිරි පල ද නොසලකා හැරිය නොහැකි වූ බවට අම්මලාට ගතු කීවේ සුදු ගවුම් ය.

ඔයෙහි නිතොර පවතින අලුත් හුස්ම හිතේ ද ප්‍රාණනාලිය වෙයි. ඔය දෙපස අහස උසට නැඟි සද්දන්ත වෘක්ෂයන්ගෙන් සැදී පැහැදී සිටී. තැනින් තැන දම් සහ රතු පැහැයෙන් කැපී පෙනෙන බිනර මල් සහ අසෝක මල් ය. අවට තුරු අතර එළිමහන් ව ද වහන් වී ද කල් ගෙවන රිලවුන් අප ව මායිම් නොකර දත නියවමින් පැන යයි.

"හරි ම සීතල යි
මට බෑ නාන්න
අපොයි! තද ගිම්හාන සුළඟ"

වරක් නා අවසන් ව ගවුමේ රැළි කොටස මල්ලක් ලෙස සාදා එහි පුරවා තිබූ පල රොත්ත ම යළි දියට අතාරිමින් හඬ නැඟූ සිරිමා දෙස ජෝතිත් මාත් බැලුවෙමු. "ගිම්හාන සුළඟ!" නළල මඳක් රැළි නැංවූ ජෝති ඇසුවා ය.

"අපේ ටීච කිව්වෙ.. වෙන රටවල පායන කාලෙට ගිම්හානෙ කියලලු කියන්නෙ. ඉතින් මේ මෙහෙ ගිම්හානෙ තමයි." සිරිමා විස්තර කරන්නට වූවා ය. "ඒත් ඉතින් මෙහෙ හැමදා ම වගේ පායනවනෙ." මම කීවෙමි.

"එතකොට එහේ ගිම්හාන කාලෙට මෙහේ වගේ හුළං හමන්නෙ නෑ?"

ජෝතිගේ පැනයට කිසිවෙකු පිළිතුරු දුන්නේ නැත.

දොරගලට වැඩියෙන් ම පායන්නේ අගෝස්තුවේ ය. ඔව්, එය අපූරු අගෝස්තුවකි. අගෝස්තුව මුල බාගේ හෝ ජූලි අග බාගේ සිට සුළඟ හමන්නට පටන්ගන්නේ පුදුමාකාර ලෙස ය. අම්මා නම් කීවේ එහෙම වෙන්නේ දොරගල කඳුවැටියේ අනෙක් පසට ඇද හැලෙන වැසි නිසාත් කඳුවැටියට වී ගම්මානය දෙසට හැරී සිටින හුළං කපොල්ල නිසාත් බවයි.

අතු පතර බිමට නම නමා ගස් සුළඟ හා කරන රංගනය බලන්නට අපූරු එකකි. මම එවන් විට අපේ ගෙදර ඉදිරිපිට පොල් ගස් පේළි දෙස බලා හිඳිමි. ඒ මේ අතට කැරකෙමින් අතු උදුරා බිමට දමමින් සුළඟ හා පොල් ගස් පේළි කරන නැටුම විටෙක මගේ හිතට ගෙන ආවේ බියජනක බවකි. සුළඟේ බලයෙන් වැඩ පෙන්වන පොල්ගසින් ඉගිල එන අතු ඇතැම් විට අපේ ගෙයි උළු කැට බිඳ දමයි. අනුන්ගේ බලයක් හෝ ඇති තැන බොහෝ මිනිස්සුත් ඔහොම යැයි සීයා දවසක් බියමුසු ව ඉස්තොප්පුවේ සිට සුළඟ පාන නාඩගම බලා සිටිනා මා දැක හිනැහෙමින් කීවේ ය. "ටිකිරි දන්නවද, බලය ඇති සමහර මිනිස්සුත්, ඔයා වගේ අහිංසක දරුවන් විතරක් නෙවෙයි ගහ කොල ඇළ දොළ හිටන් බයකරල සතුටු වෙනවා.. ඉතින් ඒක ම තමා අපි බය නොවී ඉන්ඩ ඕනෑ.."

ගස් ඉදිරී වැටෙන හඬ එහෙන් මෙහෙන් 'විත් දෙකන් පාරන අගෝස්තුවේ සුළඟ කෙඳිරි ගාමින් ඈතට ඇදී යන්නේ වසර අග මහා වැස්සට සැරසෙමින් හීන් හිරිකඩ අතරින් පතරට වැටෙන්නට පටන් ගත් විට ය.

අගෝස්තුවට ඉඳින් කල් තිබේ. තවමත් වෙසක් මාසය ය. පරිසරයේ ඇඳී ගිය ශාන්තභාවය දරාගෙන වෙසක් මස තවමත් තුරු අග්ගිස්සෙහි මල් පළන්දමින් සිටියි.

 

Picture - C. Michael Dudash, American, Born 1952

2 comments:

  1. කඳු.......කවියක් නෙමෙයි නේද?

    ReplyDelete