Thursday, July 30, 2015

හිමායනය වෙයි සරත් සෘතුව


හිමායනය වෙයි සරත් සෘතුව
වේගයෙන් ගසා එන හිම කැට
වසා ගනී තුරු පත්
කුඩා කවුළුව උණුසුම්

ඔබ පැමිණි බවටත් ගිය බවටත්
දැන් නැත එහි අඩි ලකුණු

Picture - http://tiny.cc/qvgjzx

සුවබරයි සුවබරයි උදෑසන හිරු එළිය



සුවබරයි සුවබරයි උදෑසන හිරු එළිය
රැගෙන යයි ගිම්හානයේ රළුව ගොළුව ගිය හදවතක්
කුමක් විය හැකිද ගයන්නේ වියැක යන පිනි බිඳට
දුමින් බර කඳු හිසක්

"එකින් එක බැල තණ පඳුරු නවා දෙපසට
පියාඹන පා දෙකක්
වන පෙතේ හද සියුම් රිදුම් රැගෙන යනු මැන දුරක්"

Picture - Sophie Narses http://bit.ly/1GfE4lO

සමනලුන් යුද වදින්නේ නැත


ඔබට හිමි නැත
බලා යන කොට
ගලා යන ගඟ

නුබට හිමි නැත
කඩා වැටුණට
තාරුකා'ළිය

ඒ වගේමයි
මටද හිමි නැත
ලොව දහස් දන නඟන රුදු හඬ
වැස්ස වාගේ නටනවා හැර
සමනලුන් යුද වදින්නේ නැත

ඔබට හිමි නැත
බලා යන කොට
ගලා යන ගඟ

Picture - Sandro Zanetti http://bit.ly/1I0WSrg
(Valentia Island, County Kerry, Ireland)

Friday, July 24, 2015

ඇති වීමට බියවන්න සකිසඳ



ඈත වෙරළත මුහුදු ඉම
තඹ පැහැ රිදී රේඛාවක නින්දාවත් පැසසුමත් වැතිරැත
නැවත ආලෝකය හා සුළඟ
ඝනීභූතව හුස්ම ගන්නට අමතක කඳු මුදුන්
බියක් දැනේ මට
අතුරුදන් විය හැකිද යම් දිනෙක ඔබ
සුළඟය කොඳුරන්නෙ එතකොට
'නැති වීමට නොවේ
ඇති වීමට බියවන්න සකිසඳ'

Picture - Александр Науменко

Friday, July 17, 2015

ඔබත් මුහුදත් නොදනියි


මගේ ගෙදරට ඈතින් මුහුද පේනවා.. සමහර කාලවල අහස පාට පාට චිත්‍රයක් වගේ.. ඊයේ රෑ කාලගුණය හරි වෙනස්.. වෙන රටක වගේ.. වෘකයෝ හූ කියන්නා වගෙයි මුහුදේ ඉඳන් සුළං හමන්නේ.. මට හරියටම මතක් වුණා කුණාටුවේදී වෘකයන් එක්ක අතරමඟ තනිවුණු කෙනා..

වෘකයන් හූ කියන්නා වගේ සුළං
හමා එන විට උතුරු මුහුදින්
නිවී යන පහන් නොදල්වන්නැයි
ඔබ කියයි
යළි දල්වන්න තරමට
නිවී ගියේ නැත ඔබ කිසි දින
ඔබත් මුහුදත් නොදනියි

Picture - Boris Bogdanov

Wednesday, July 15, 2015

දොරට තට්ටු කරන්නනි දොර නොඅරිමි



වෙළඳසැලේ කොණෙක ඇති
පළතුරු තට්ටුව සිහියට නැඟේ මට
මිදි පොකුරක් තිබිය හැක එහි
එහෙත් අප්‍රාණිකය මා එහි ඇවිදයාමට

දොරට තට්ටු කරන්නනි දොර නොඅරිමි
කුණු එකතුකරන්නනි අන් දවසක පැමිණෙන්න
හක හක ගා හිනැහෙන්නා, මුහුද
මට පෙන්නන්න බෑ තොප

කුඩා හඬක් පවා ගොර නදක් වී විසි කරයි මා ඉවතට
පියානෝ නද පවා එපා! නිහඬතාවයි මා පිය
තිර රෙදි සර සර ගා සොලවන සුළඟ
නවතින්න, මට නිදියන්න ඉඩ දෙන්න

පෙම් බඳින්නනි වෙර බඳින්නනි මිථ්‍යාවන් ඔවුන්, ඔවුන් මෙහි නැත
රෝගාතුර වූ කල ලෝකය කිසිවිට online  නැත
ඔබේ හැඬුමක් අසා, ඔබ නිවස ඉදිරිපිට වීථියේ
රාත්‍රී සැතපෙන්නෙකු සිනා විය හැක
Offline තරමට කිසිවක් online නැත

Picture - Peter Worswick

Tuesday, July 14, 2015

එයත් නාට්‍යයේ කොටසක්ය!



රෝගාතුරව වැතිර උන් මම
හදිසියේම ඇතුළු වුවෙමි නොදන්නා වීථියකට
තරමක ගාලගෝට්ටි අතරෙහි
තරුණියෝ නටමින් සිටියහ තැන තැන
අඩ නිරුවතින්, මා මවිත වන සේ
තමා හොඳ බව කීවාය
ගලක් උඩ හිඳ ගත් නාටිකාංගනාවක්
මතුවීමි මම ඉන් ඉහළ වීථියට
අලුත් කණ්ණාඩි මේසය මා මිලට ගෙන තිබුණේ
අලුතින් මිලට ගත් වෙන කණ්ණාඩි මේසයක් තිබියදී බව
දැනගන්නට ලැබුණි එහිදී
එහෙත් එහි පිටුපස ලී බිඳී ගොස් තිබුණේ

මල් පාරට පැමිණියේ කෙලෙසද මා
නොදන්නෙමි එනමුත් පැමිණ සිටියෙමි
ඔව්, ඒ පියෝනී මල් විය යුතුය
පිපී තිබුණේ මාර ගස්වල
අඳුරු තෙතබර වීථියකි එය
මල් මල් ඇඳුමක් ඇඳ වාඩි වී සිටියේ 
ඉෂිතාගේ නැන්දම්මා

'ඔහු සුදු යුවතියගේ බඳ
තලා පෙළනා හැටි නොදැක
දඹදිව වුණත් සැපැත් වීම යෙහෙක
මරණය වුණත් යෙහෙක'
මම හඬ නඟා කීවෙමි එවිට

ඈ මඟ පෙන්වීය
පුරාණ විහාරයකට
ගල් පඩි පසු කර කර
අඩ අඳුරු පොළොව තෙතබර
ඉහළ මාලයට නැඟුණෙමි මම
විහාරයෙන් එපිට වන ගුලාවකි එකම
බමුණෙක් සිටියේය එහි කීවේය වෙස්සන්තර යුගය බව එය
තරුණ පුරුෂයෝ ඇදී ගියහ හෙළ ඉහළට
ගිරි බෙයඳට

එ'උතුමා සිටියේ එහි
උඩු කය නිරාවරණව
අප දැක ඇති සැටියම
නාට්‍යයක් කරන්නට ඕනෑයි කීවේය ඔහු
'මෙයා නිළියකද?'
විමසුවේය එහි වන් වයස්ගත බමුණෙක්
නිළියක නොවීමට තරම් ගර්වයක් ඇති විය මට

ඇස ඇරුණු විට නගරයේ හුදෙකලා නිවසක
රෝගාතුරව උන් මා හමු විය
එයත් නාට්‍යයේ කොටසක්ය!

Picture - Lunaesque Photography http://bit.ly/1Uou7gS

ඔබ හා මා අතර නොගැලපුම



පෙම්වත
ඔබ හා මා අතර ඇති නොගැලපුම
විදුලි එළිය, රූපවාහිනිය, ගෑස් ලිප

සඳ එළියේ තාරුකා කඩා හැලෙන හැටි දකින කොට
රාත්‍රී සුව නිදි නොලැබ තලගොයෙක් පනියි වතුරට
සුළඟ ගෙන එයි ගඟෙහි මුණු මුණු හඬ
අන්න ඒකයි කඳුකරේ හදවත හැඩ

ලාම්පු එළියෙන් දර ලිපෙහි අම්මා උයන හැටි පෙනෙයි
රූපවාහිනී නොමැති ගෙයි සතුට සිනහව ඉතිර යයි
වන පෙත පිස එන නිහඬ බව පවා මන පිනයි
පෙම්වත මනෝහරයම අප'තර නොගැලපුම වෙයි!

Picture - Mustafa Akarsu https://500px.com/AkarsuM

Monday, July 13, 2015

සාරියේ රන් රෝස මල පවා ඔබගේය



ඔබට මා අතැර යන්නට වූ පසු
කිසි දිනෙක නොගියෙමි නුඹ සොහොන වෙත
නුඹ මගේ හදවතෙහි මිස එහි සිටින්නට හැකිද

කුමට පාරවන්නෙද ඔබ පාමුලට විත් පසුගිය මතක
නුඹ නොවන නුඹට මැකී යන්නට දෙමි නිසසලව
සුළඟ හමයි මල් කිනිති සැලෙයි
කඳුකරයේ නිසල බව නුඹ වටා විහිදෙයි

නුඹට යන්නට සිදු වූ පසු ඉවතට
රැගෙන ආවෙමි මම නුඹ මගේ හදවතට
එහෙත් ඉකි නොගැසුවෙමි
යන්නට නොහැකි වෙන ලෙස නුඹට
ඇදී යා යුතුය ඔබ ඉඳින්
වලාවක් වගේ සිහිලෙන් සැහැල්ලුවෙන්

මතකයන්ගේ බරින් මුදාහැර ඔබව
රැගෙන ආවෙමි මල් සුවඳ

මේ බලන්න
මගේ කන් පෙති මත මල් පිපී ඇත
සාරියේ රන් රෝස මල පවා ඔබගේය

Picture - Александр Котенко http://kotenko.35photo.ru/photo_908050/#author/908050

නිහඬ සිසිරය මෙනි හදවත


කිසිවෙකු සොයා නොගත් දෙව්ලොවිනි
අවසන් වන්නෙත් ඇරඹෙන්නෙත් කඳු
පැන්ඩෝරා දැන් මගේ හදවත
කඩා වැටෙන්න පුළුවන් පොළොවට

සුළං කපොලු වසා උතුරා
හඬ නඟා ආවත් සුළඟ
නිහඬ සිසිරය මෙනි හදවත
තැවෙන්නේ නිමක් නැතිවම

වසන් කරගන්න තරමට
රිදුම් දෙන නමුත් පොළොවට
නිම්නෙටත් එහා දේදුනු
පිපෙන්නත් පුළුවන්ය ළාවට

පැන්ඩෝරා දැන් මගේ හදවත
කඩා වැටෙන්න පුළුවන් පොළොවට

Picture - Жибер Алексей http://zhiber.35photo.ru/photo_906641/#author/906641

අඹර මුදු දෙකොපුල් පෙති



තද රෝස පියෝනී මල් වගේ
අඹර මුදු දෙකොපුල් පෙති
යෝග පසුබිම් ගීතයක් මෙනි
එක දිගට වහින මල් වැහි

Picture - Александр Атоян http://rasp.35photo.ru/photo_919280/#author/919280

බිඳිනු මැන!



'පිඟන් බිඳෙන්නට නම්
පිඟන් සෝදන්න ඕනෑ'*
ම'මිතුරියක් කීවාය
පිඟන් තනමි
බිඳිනු මැන!

*වහරක්

Picture - GiovanniGiacometti

විශ්වයක ගැඹුරක්!



මහ පොළොව කියන්නේ ඇසිල්ලක්
කවියක් කියන්නේ විශ්වයක ගැඹුරක්!
කිසිවෙකුට අයිති නැත එය කවියටම මිස මිත

Picture -
Александр Котенко, http://kotenko.35photo.ru/photo_917897/#author/917897

Sunday, July 12, 2015

How immortal it is to recline on a mountain top



It is uncomfortable to immerse
In the company of the masses;
How immortal it is to recline
On a mountain top?
And to die in the middle of a forest
Or the bank of a creek?

How smooth your hands are
O thou the tree?
How charming the tender sands are
Studded with the red gems of Lucky Seed tree?
Even the hoot of an owl;
Doesn’t it sooth your ear?

Even the call of a curlew
Who takes to the summer sky;
Even the question of a mountain
That asks whether to throw
The turban of a gurgling brook
On to the canopy of trees.

Translation of
කොතරම් අමරණීයද කඳු ඉසක වැතිරීම
Translated by Niluka Kadurugamuwa
Picture -
Copyright by ФЁДОР http://fd7.35photo.ru/photo_917095/#author/917095

ඔබටය අයිති කවි



මූලාශ්‍රය ඔබය
ඔබටය අයිති කවි
ඔබ නැත මට අයිති
කුමට මට කවි?

ඔබ හැර වෙන'ය
කියවන කවි
වෙර බඳින පෙම් බඳින
හද වෙළන රැකවි

තත් බිඳින හදෙහි
හඬ මවන කුරවි
මට අයිති නැති කවි
කුමට මට කවි?

Picture - Christine Lange Kielland (Kitty Kielland), from Norway (1843 - 1914)

අවසන් දිය බිඳුවත් සිඳ



දිය බෙයඳක් විලස විලක
ගැඹුරු කියා සිතු මගෙ හිත
අවසන් දිය බිඳුවත් සිඳ
මකා ගියා අවරට ඉර

නිල් මහනෙල් දිය බෙරලිය
එතැන් පටන් පිපුණේ නැත
රන් මසු මල් මීන පියා
ඉසුරු සොයා රැඳුණේ නැත

දිය කිඳුරන් කිඳුරින් හා
දියඹ සොයා ඇදුණේ නැත
සරතැස සන්තාප නිවා
අහසට සඳ නැඟුණේ නැත

Picture - Nikiforov Egor http://bit.ly/1G3yMtE

Saturday, July 11, 2015

Scattered are the sweetest days



Scattered are the sweetest days

Just like the leaves in the autumn
Dried up eyes of a barometer

Scrapes the highlands
Look!
The rainbow you’ve plucked
Floating away, in the soft breeze!


Translation of
බැරෝ මීටරයක වියළි ඇස්
Translated by Manel K. R. Fernando
Picture -
Rob Travis; http://bit.ly/1kkePUX

Last night,


Last night,
I heard the resonating clink of a
bunch of keys.
I thought I must fasten
the lock of my heart,
So that no one could enter.
But, the door was open as usual.

The sea resonated constantly in the distance,
A tiny sea shell smiled gently in silence.

Translation of යතුරු කැරැල්ලක සීනු හඬ
Translated by Niluka Kadurugamuwa
Picture -
Church of St. Andrew the Apostle on Vuoksa by Michael http://bit.ly/1CogSXF

The earth’s wish is for a sapling



The earth’s wish is for a sapling

Streams smile at the sight of sprouts
When the moon rising amidst the rain

The moment becomes a poem....!


Translation of
පැළයක් පතන්නේ පොළොවකි
Translated by Manel K. R. Fernando
Picture -
Paul Davis http://bit.ly/1JU02Qh

Wednesday, July 8, 2015

ඇල්ප්ස් කඳු මුදුනෙහි



ඔත් නැම්මකින් ඔත්පලව ඇල්ප්ස් කඳු මුදුනෙහි වලාකුළු නිදන කල
සොඳුරිය මට නුඹේ සුළඟ හා රඟ දෙන කියුඹු සිහි වෙයි
සැතපුම් ගණන් ඈතට පැමිණ ඇති 'මුත් ගෙවා බෝ දුර
එක මිටියාවතක මුළු සිතම ගොළු වෙයි
රයින් ගඟ අද්දර රන් පෑති රාජාලීන් වැළපෙන කල
තනිව දුර කූඩුවක සැතපෙන ගිරවියක සිහිවෙයි
පිනි බිඳු පවා වැටෙන්නේ මිහි ගිතාරයක තත් බිඳින්නා මෙන්ය අඳුරේ

Picture - http://wallfon.com/mountains/alps-mountains-railroad.html

දිනෙක කොරිඩෝරයේ ඇවිද යන විට



දිනෙක කොරිඩෝරයේ ඇවිද යන විට
අපි සොයා ගතිමු වංචාවේ උල්පත සහතිකපත්වලින් පැන නඟින බව
කවුළුවෙන් එපිට බලන විට වෙනදා මෙන් මැයි ගස්වල මල් පිපී තිබු'මුත්
හරි අවර්ණ කළු සත්ත්වයෙක් වසා සිටියේය කොළ හැලී ගිය අතු කඳක්
එහෙමය අප සොයා ගත්තේ කාසියේ එක පසක්
___________

මහ මුහුදට නොදැනුණා වගේ හිටියට දැනෙනවා හොඳටම
ලැජ්ජා නැද්ද මුහුදට ගඟක් නවතන්න බැරි එක
ගඟ ගණන් නොගෙනම ගලා යනවා ගැඹරට
කිමිද දිය ගැඹරත හිනාවෙනවා හොඳටම

____________

කාර්යාල කියන්නේ කොල්ලකරුවන්ය ජීවිතේ
කොල්ලකරුවන්ය ප්‍රීතියේ

Picture - Kazuo Kasai

Tuesday, July 7, 2015

උල්පතක් වළකන්න බැරි වග



පුදුමයි ඉඩෝරෙට නොහිතෙන තරම
උල්පතක් වළකන්න බැරි වග

තුරු වදුලු හිනැහී කතා කරන කල
කළු ගලක් වගේ කළු වෙයි
හොරෙන් දොර කවුළු වසා
පිට අයට පුහුණු දෙන කොට
කුහක යන වචනයට තව තව හරණ බිහිවෙයි

මල් පිපෙන හිත් ගැන ඉඩෝරය නොදනියි
උල්පත් දිය මඟක් වී ගලනවා තමයි
වළකන්න නම් බැරි වෙයි

Picture - Evgeni Erokhin

Thursday, July 2, 2015

මකන්න දෛවයේ චිත්‍රය



කලාව සොයා ගැන්ම පමා වූ කලාකරුවන්ය සිටින්නේ සිර ගෙවලවල
ඔවුන්ගේ සුස්ම ග්‍රීෂ්මය මෙන් උණුසුම්, හද ගැහෙන්නේ සුළඟක් මෙන්
ඔවුන් වෙනුවෙන්ය ගයන්නේ උස් අහස
දරුවනි නිදහස්ව එනු මැන එනු මැන

හඬන්න සිරකරුව ඔබ! පිළිසරණක් ඇත කොහේ වුව!
හැඬීමෙන් සුසිනිඳුව යනු ඇත ලිහා ගත නොහැකි වර පට
මැරුවාද ජැක්සන් හන්දියේදී ඔබ යමෙක්, කවරක්ද වූයේ ඔබේ හද මත
රැව්වාද, ගැහුවාද, කෙලෙසා දැමුවාද ආත්මය
කුමක්ද වූයේ ඔබේ හිත මත

කොතැනින්ද බිඳී ගියේ ඔබ
බිඳෙන්න බිඳෙන්න අත හරින්න ඔබ
හසු නොවන්න හිටිවන කඩා හැලෙන පොළොවට
ලියන්න ඔබේ දුක, අඳින්න සිරගෙදර බිත්තිවල
දරුවනි හිනැහෙන්න, නිදහස් කරගන්න ඔබ

මහා භාරතයටත් වඩා විශාලය සිර ගෙදර අවපැහැ ගෙබිම
සීතලය හුස්ම අවහිර කරන සුළඟ
ඔවුන් ඔවුන්ගේ සැලසුම් තනන විට එපිට
මේ ඔබේ වාරයයි අත වනන්නට අහසට
ගයන්න ඔබේ දුක, මකන්න දෛවයේ චිත්‍රය

Picture - Ernesto Barbero (Italian, 1887–1937)

ඉලක්කම්වලින් ඇරඹුණේ ප්‍රේමය



යතුරු පුවරු නොවූ පෞරාණික සමයක
ඉලක්කම්වලින් ඇරඹුණේ ප්‍රේමය
අඩු කිරීමේ ලකුණ මිස වෙන යමක්
සොයා ගන්නට බැරි වෙද්දි ගණන් පොත්වල
ගුණිත ලකුණක් ගෙන පහළ විය එය

Picture - Richard McHowat http://bit.ly/1GIUmnO

සඳ පිපෙන හැටි හසරැල් අරන්



මිණිදැදිරි වෙයි මල් කැකුළු
වසන්තය දෑතින් අරන්
හිත බිඳෙන පෙම්වතියේ බලන්
සඳ පිපෙන හැටි හසරැල් අරන්
සඳ පිපෙන හැටි හසරැල් අරන්

රළ පුරන හැටි කෙත් වක්කඩින්
කඳු නඟින හැටි කිරි කොක් සුදින්
අර අරුණ ඇවිදින් මැදියමින්
හිත පුරන හැටි දුටුවද පෙමින්

හිත කලඹ කලඹා මඳහසින්
මල් කිණිති පිපිලා අන්දරින්
පණ පුරන ප්‍රේමය කඳු ඉසින්
අර අරුණ ඇවිදින් මැදියමින්

Picture - Cesar Santos